Saturday, July 27, 2019
“තමන්ගෙ යහපත ගැනත් බලන්න”
පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අයට කරදරයක් වුණොත් තමන්ගේ වැඩකටයුතු අත්හරිනවා. සංවිධානය කරපු දේවල් අත්හරිනවා. අර කරදරයේ කොටස්කාරයෝ වෙලා කතාබස් කරමින් කල් ගෙවනවා. මරණයක් වුණොත් රැකීරක්ෂාවල් අත්හැරලා නිවාඩු දානවා. මළගෙදර ගිහින් නන්දොඩවමින් ඉන්නවා. සූදු කෙළිනවා. කැරම් ගහනවා. මේ විදිහට කාලය විනාශ කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම දෙයක් වුණා. ඒ මෙහෙමයි.
අපගේ ශාස්තෘන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරියේ වයස විසි නවයේදී. තිස් පස් වෙනි වියේදී සම්බුදු බවට පත්වුණා. අසූවැනි වියේදී පිරිනිවන් පාන්න තීරණය කළා. එතකොට සම්බුද්ධත්වයෙන් පසු හතළිස් පස් වසරක් වැනි සුළු කාලයක් තමයි වැඩසිටියේ. ඉතින් උන්වහන්සේ කුසිනාරා නුවරට වඩින ගමනේදී සංඝයා අමතා මෙහෙම වදාළා.
“පින්වත් මහණෙනි, මෙයින් මාස හතරකින් මම පිරිනිවන් පානවා” කියලා. මෙය අසා හත්සියයක් පමණ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා මහා දුකට පත්වුණා. සංවේගයට පත්වුණා. ‘අනේ අපට භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන්වී මෙය කරගන්නේ කොහොමද?’ කියා කතා කර කර හිටියා. ‘අපට මක් වේවිද?’ කියලා සංවේග වෙවී හිටියා.
ඔය අතරේ අත්තදත්ථ නම් භික්ෂුවක් හිටියා. උන්වහන්සේ මෙහෙම කල්පනා කළා.
“අනේ ලෝකයෙහි එකම ඇස සුළු කලෙකින් නිවී යන්නේය. ඒ මාගේ ශාස්තෘන් වහන්සේ සිව් මසකින් පිරිනිවන් පානා සේක. අහෝ! එකල්හී අපට ඇති පිළිසරණ ධර්මයම නොවේද? එසේ නම් මම ද භාග්‍යවතුන් වහන්සේ සතුටට පත්වන අයුරින් කටයුතු කළ යුතුයි. උන්වහන්සේ පිරිනිවන් පාන්නට පෙර මා නිකෙලෙස් විය යුතුයි” කියලා අර භික්ෂූන් සමඟ කතාව නැවැත්තුවා. හැම තිස්සෙම සතර සතිපට්ඨානයෙන් වාසය කරන්න පටන් ගත්තා. පිරිසෙන් වෙන් වෙලා වාසය කළා.
එතකොට අනිත් භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුවට මෙහෙම කිව්වා.
“හනේ… හනේ… තමුන්නාන්සෙට කිසි වගක් නැති හැටි! මෙච්චර බරපතල විපතක් වෙන්න යන්නේ… අපි සමඟ මේ කරුණ ගැන ශෝක වෙන්න එන්නෙ නැත්තෙ ඇයි? මෙච්චර ඉක්මනට භාග්‍යවතුන් වහන්සේව අමතක වුණාද? හොඳයිකො. අපි මෙය සැළකරන්නම්.”
ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව කැඳෙව්වා.
“පින්වත් භික්ෂුව, මේ සඟ පිරිස කියන්නේ ඔබ අමුතු වෙලා කියලා. කතා බහ නැහැලු. පිරිස සමඟ ඉන්නෙ නැහැලු. ඇයි ඒ ?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, තව සිව්මසකින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටිද්දීම අරහත්වයට පත්වීමටයි මං වෑයම් කරන්නේ.”
“සාදු! සාදු! පින්වත් භික්ෂුව. යමෙක් මා කෙරෙහි ආදර ගෞරවයක් ඇත්නම්, ඔහු කටයුතු කළ යුත්තේ මේ අත්තදත්ථ කටයුතු කරන ආකාරයටයි. මල්, සුවඳදුම් ආදියෙන් පූජාවල් පැවැත්තුවාට එය හැබෑ පූජාවක් නොවෙයි. මා පවසන ලද ධර්මය අවබෝධ කිරීමට මහන්සි ගන්නවා නම්, ඒ අනුව හැසිරෙනවා නම් එය තමයි හැබෑම පූජාව. එනිසා අනිත් භික්ෂූන් ද කළ යුත්තේ අත්තදත්ථයන් කටයුතු කරන ආකාරයටයි”
මෙය වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි අයුරින් මෙම ගාථාරත්නය වදාළා.
අත්තදත්ථං පරත්ථේන – බහුනා’පි න හාපයේ
අත්තදත්ථමභිඤ්ඤාය – සදත්ථපසුතෝ සියා
අනුන්ගෙ යහපත උදෙසා – බොහො දේ කෙරුමට ඇතත්
තමන්ගෙ යහපත කිසිවිට – අතපසු නොකර ගන්නේ
තමාගෙ යහපත සළසා – අනුන්ගෙ යහපත කිරීම නුවණැත්තන්ගේ වැඩක් ය
Subscribe to:
Posts (Atom)
උපසාළ්හක බමුණාගේ කතාව (budu sarana newspaper)
මහාසාර කුලයෙහි උපන් උපසාළ්හක බමුණා කුලයෙන් ධනයෙන් හා බලයෙන් ඉහළ තත්ත්වයක ජීවත්වුණු කෙනෙකි. ඔහුගේ ජීවන වෘත්තිය වූයේ සොහොන් පිරිසුදු කිරීම ය...
-
We can normally see in a language two main parts named Nouns and Verbs. Noun is a name of a thing, a person or a place. When we study n...
-
Nouns in Pali are differently declined according to their gender and termination. e.g. - Nara - is a masculine stem, ending in ...
-
We did many activities following years. But since this blog's password missing could not add the things for you. Sorry for that and we u...