Monday, May 3, 2021

උපසාළ්හක බමුණාගේ කතාව (budu sarana newspaper)

මහාසාර කුලයෙහි උපන් උපසාළ්හක බමුණා කුලයෙන් ධනයෙන් හා බලයෙන් ඉහළ තත්ත්වයක ජීවත්වුණු කෙනෙකි. ඔහුගේ ජීවන වෘත්තිය වූයේ සොහොන් පිරිසුදු කිරීම යි. මිසදිටු පුද්ගලයකු වූ ඔහු ඉතා ආසන්නයේ විහාරස්ථානයක වැඩ සිටි බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට කිසිදිනෙක එහි නොගියේ ය. මානාධික වංශාධිපතියකු වූ ඔහුගේ අවසන් එකම ඉල්ලීම වූයේ මියගිය විට වෙනත් (වසල නීච) කිසිවකු මිහිදන් නො කළ නො ඉඳුල් ස්ථානයක තම දේහය ආදාහනය කරන ලෙසයි. ඔහුගේ පුතා නුවණැති පුද්ගලයෙකි. මහලු පියාගේ ඉල්ලීම සාවධානව අසා සිටි පුතණුවන් සිය පියාගෙන් ඉල්ලා සිටියේ පියාණෙනි, ඔබ ආදාහනය කළ යුතු ස්ථානයක් නො දනිමි. එබැවින් මා රැගෙන ගොස් මෙන්න මේ ස්ථානයේ මා ආදාහනය කළයුතු යැයි ඔබ විසින් ම කියනු මැනවි. පිය බමුණා පුතාගේ ඉල්ලීම අනුව පුතාත් සමඟ ගිජුකුළු පව් මතට නැඟ මේ ස්ථානය වෙනත් කුලහීන පුද්ගලයකු ආදාහනය නො කළ ස්ථානයකි. දරුවෝ ද සිය ආදරණීය පියාගේ ඉල්ලීම ඉටු කරන්නට කටයුතු යෙදූහ. කිසිදු මළ මිනියක් නො දැමූ ගිජුකුළු පව්ව මස්තකයෙහි පිරිසුදු බිමක් යැයි සිතා වසර සිය ගණනක් පැරැණි මහා වනස්පතියක් මුල හොඳට පිරිසිදු කොට සිය පියාගේ දේහය ආදාහනය කරන්නට සුදුසු ස්ථානය තෝරාගෙන සිටිය දී බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරා ගෙන එතැනට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ පිය පුතු දෙදෙනාට සෝවාන් වීමට හේතු සම්පත් ඇති බව බුදු ඇසින් දුටහ. ගිජුකුළු පව්ව මුදුණේ සිට පහළට බසින්නා වූ පිය පුතු දෙදෙනා සමඟ සතුටු සාමීචියේ යෙදුණු බුදුරජාණන් වහන්සේ, ඔවුන් සමඟ පව්ව මතට නැඟ තෝරාගත් ස්ථානය විමසා බලා ඒ අවස්ථාවේ එතැන රැස්ව සිටි බමුණු දරුවන්ගෙන් තොරතුරු විමසා බලා බමුණු දරුවන් අමතා ‘දරුවෙනි, මළ මිනියක් මිහිදන් නො කළ නො ඉඳුල් තැනක් සොයා ගැනීම අතිශයින් ම දුෂ්කර ය. තොපගේ පියාණන් බමුණු කුලයෙහි පමණක් ඉපිද ඔය නමින් ම පමණක් ඔය ස්ථානයේ මිහිදන් කළ වාර ගණන පමණක් දාහතර දහස් වාරයක් වේ’යි වදාළ සේක.

Saturday, February 1, 2020

දර කෝටුවේ බර

(අජාන් බ්‍රහ්මවංසෝ හිමි) අතීතය අත්හැර දැමීම ගැන නොයෙක් ආකාරයෙන් කතා කළත් අප තවමත් අතීතයේ සිදු වූ වේදනාකාරී වූ අත්දැකීම් සිහිපත් කරමින් විඳවනවා. තමන්ට වැඩියෙන් යමක් අවශ්‍ය වූ විට දැනටමත් තමන් ළඟ තිබෙන දේවලින් සතුටක්, තෘප්තියක් ලබන්නට බැරි බව මා කියා තිබෙනවා. මෙය ඉතා ගැඹුරු කියමනක්. මේ නිසා අනාගතයේ මේ මේ දේ අවශ්‍ය යැයි ඇතිවන ඇලීම් අත් හරින්න. එවිට උදා වූ මොහොත, වර්තමානය රස විඳින්න පුළුවන්. උදාවන සති අන්තයේ කරන්නේ කුමක්දැයි කල්තියා සැලසුම් කරන විට ඔබට මේ මොහොත රස විඳින්න බැරි වෙනවා. අතීතය සම්බන්ධයෙන් ද එය එසේම යි. අතීතය අත්හැර දමන්නට බැරිනම්, අතීතයේ සිදු වූ සිද්ධීන් සිහිපත් කරමින් සිටිනවා නම්, උදා වූ මොහොත රස විඳින්න බැරි වෙනවා. අතීතයේ වූ යම් යම් දේ ගැන සිහියට එනවිට වේදනාවන්, විඳවීම් ඇති වී, උදාවූ මොහොත සිහිනුවණින්, සතුටෙන් ගත කරන්න බැරි වෙනවා. දවසක් මගේ ගුරුතුමා වූ අජාන් චා මහතෙරුන් වහන්සේ සමග මා ඇවිදිමින් සිටියා. ඒ අප ජීවත් වූ වනසෙනසුනේ. ඇවිදිමින් සිටියදී උන්වහන්සේ බිම වැටී තිබුණු දර කෝටුවක් අතට ගත්තා. “මේ දර කෝටුව කොයිතරම් බර ද?” උන්වන්සේ මගෙන් ඇසුවා. මා උත්තර දෙන්න පෙර උන්වහන්සේ ඒ දරකෝටුව පසෙකට වීසි කළා. මට පුදුම හිතුණා. “දර කෝටුව පැත්තකට විසිකළාට පස්සේ, ඒක තවත් බර නැහැ.” උන්වහන්සේ පැවසුවා. “එය බරක් වෙන්නේ ඔබ එය උසුලාගෙන සිටිනතාක් පමණයි. මේක ඉතාම පැහැදිලි කාරණයක්. අතීතයේ සියලුම සිත් තැවුල් ඔබට වද වේදනා ගෙනදෙන්නේ ඒවා උසුලාගෙන සිටිනතාක් පමණයි. නමුත් දේවල් අහකට විසි කිරීම හරිම අමාරුයි. ඒ වගේ දෙයක් කරන්නට ඕනෑ වුණත් එයට අප පුරුදු වී නෑ.

Friday, September 20, 2019

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

1864 සැප්තැම්බර් 17 දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කල උත්තම චරිතයක් වෙන ධර්මපාල තුමන්. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට එතුමා පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද එතුමා වේ. එතුමා අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය. එතුමාගේ පියා එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ ය. ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව, අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ,මල්ලිකා ධර්මගුණවර්ධන විය. එ‍මෙන්ම එතුමා 1872 - 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබු අතර පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය.. වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලෙඩ්බීටර් බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ. ඔවුනගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය. සිංහල ජාතියට හා බුදු දහමට සිදුව ඇති පරිහාණිය එහි දී එතුමා සියැසින් දුටුවේ ය.සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය. එතුමා ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය. බ්‍රිතාන්‍ය ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ එතුමා බ්‍රිතාන්‍ය පාලකයෝ 1914 දී, කල්කටාවේ දී, ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත් කළහ. එතුමා ඉන් නිදහස ලැබුවේ 1921 දී ය. එමෙන්ම එතුමා ගව මස් කෑමට එරෙහිව නැගීසිටි අතර ගම් නියම් ගම් පුරා මිනිසුන් දැනුවත් කරමින් ගියේය.හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කල දුන් අවවාදයක් අනුව, 1931 ජූලි 13 වන දින, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ,හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි. 1933 අප්‍රේල් 29 දී ධම්මපාල හිමියෝ අප‍ගෙන් සමුගත් අතර එතුමා වැනි ශාසනයට සේවය කළ උතුම් මිනිසුන් අප රට නැවත ඉපදේවා !!!.

Saturday, July 27, 2019

“තමන්ගෙ යහපත ගැනත් බලන්න”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අයට කරදරයක් වුණොත් තමන්ගේ වැඩකටයුතු අත්හරිනවා. සංවිධානය කරපු දේවල් අත්හරිනවා. අර කරදරයේ කොටස්කාරයෝ වෙලා කතාබස් කරමින් කල් ගෙවනවා. මරණයක් වුණොත් රැකීරක්ෂාවල් අත්හැරලා නිවාඩු දානවා. මළගෙදර ගිහින් නන්දොඩවමින් ඉන්නවා. සූදු කෙළිනවා. කැරම් ගහනවා. මේ විදිහට කාලය විනාශ කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම දෙයක් වුණා. ඒ මෙහෙමයි. අපගේ ශාස්තෘන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරියේ වයස විසි නවයේදී. තිස් පස් වෙනි වියේදී සම්බුදු බවට පත්වුණා. අසූවැනි වියේදී පිරිනිවන් පාන්න තීරණය කළා. එතකොට සම්බුද්ධත්වයෙන් පසු හතළිස් පස් වසරක් වැනි සුළු කාලයක් තමයි වැඩසිටියේ. ඉතින් උන්වහන්සේ කුසිනාරා නුවරට වඩින ගමනේදී සංඝයා අමතා මෙහෙම වදාළා. “පින්වත් මහණෙනි, මෙයින් මාස හතරකින් මම පිරිනිවන් පානවා” කියලා. මෙය අසා හත්සියයක් පමණ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා මහා දුකට පත්වුණා. සංවේගයට පත්වුණා. ‘අනේ අපට භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන්වී මෙය කරගන්නේ කොහොමද?’ කියා කතා කර කර හිටියා. ‘අපට මක් වේවිද?’ කියලා සංවේග වෙවී හිටියා. ඔය අතරේ අත්තදත්ථ නම් භික්ෂුවක් හිටියා. උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. “අනේ ලෝකයෙහි එකම ඇස සුළු කලෙකින් නිවී යන්නේය. ඒ මාගේ ශාස්තෘන් වහන්සේ සිව් මසකින් පිරිනිවන් පානා සේක. අහෝ! එකල්හී අපට ඇති පිළිසරණ ධර්මයම නොවේද? එසේ නම් මම ද භාග්‍යවතුන් වහන්සේ සතුටට පත්වන අයුරින් කටයුතු කළ යුතුයි. උන්වහන්සේ පිරිනිවන් පාන්නට පෙර මා නිකෙලෙස් විය යුතුයි” කියලා අර භික්ෂූන් සමඟ කතාව නැවැත්තුවා. හැම තිස්සෙම සතර සතිපට්ඨානයෙන් වාසය කරන්න පටන් ගත්තා. පිරිසෙන් වෙන් වෙලා වාසය කළා. එතකොට අනිත් භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුවට මෙහෙම කිව්වා. “හනේ… හනේ… තමුන්නාන්සෙට කිසි වගක් නැති හැටි! මෙච්චර බරපතල විපතක් වෙන්න යන්නේ… අපි සමඟ මේ කරුණ ගැන ශෝක වෙන්න එන්නෙ නැත්තෙ ඇයි? මෙච්චර ඉක්මනට භාග්‍යවතුන් වහන්සේව අමතක වුණාද? හොඳයිකො. අපි මෙය සැළකරන්නම්.” ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව කැඳෙව්වා. “පින්වත් භික්ෂුව, මේ සඟ පිරිස කියන්නේ ඔබ අමුතු වෙලා කියලා. කතා බහ නැහැලු. පිරිස සමඟ ඉන්නෙ නැහැලු. ඇයි ඒ ?” “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, තව සිව්මසකින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටිද්දීම අරහත්වයට පත්වීමටයි මං වෑයම් කරන්නේ.” “සාදු! සාදු! පින්වත් භික්ෂුව. යමෙක් මා කෙරෙහි ආදර ගෞරවයක් ඇත්නම්, ඔහු කටයුතු කළ යුත්තේ මේ අත්තදත්ථ කටයුතු කරන ආකාරයටයි. මල්, සුවඳදුම් ආදියෙන් පූජාවල් පැවැත්තුවාට එය හැබෑ පූජාවක් නොවෙයි. මා පවසන ලද ධර්මය අවබෝධ කිරීමට මහන්සි ගන්නවා නම්, ඒ අනුව හැසිරෙනවා නම් එය තමයි හැබෑම පූජාව. එනිසා අනිත් භික්ෂූන් ද කළ යුත්තේ අත්තදත්ථයන් කටයුතු කරන ආකාරයටයි” මෙය වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි අයුරින් මෙම ගාථාරත්නය වදාළා. අත්තදත්ථං පරත්ථේන – බහුනා’පි න හාපයේ අත්තදත්ථමභිඤ්ඤාය – සදත්ථපසුතෝ සියා අනුන්ගෙ යහපත උදෙසා – බොහො දේ කෙරුමට ඇතත් තමන්ගෙ යහපත කිසිවිට – අතපසු නොකර ගන්නේ තමාගෙ යහපත සළසා – අනුන්ගෙ යහපත කිරීම නුවණැත්තන්ගේ වැඩක් ය

Wednesday, May 9, 2018

මජ්ඣිමනිකායේ පියජාතික සූත්‍රය

බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ සිටියි. එක් ගෘහපතියෙකුගේ එකම පුතු මිය යයි. ගෘහපතියා බුදුරදුන් හමුවට යයි. බුදුරදුන්- ගෘහපතිය, ඔබේ සිතත්, ඉදුරන්ගේ වෙනස් බවත් පෙනෙයි. ඒ කුමක් නිසාද? ගෘහපති- ස්වාමීනි, මගේ එකම පුතු මිය ගියා. මම සොහොනට ගොස් ඒ දුකෙන් හඩමි. වැලපෙමි. එනිසා ඉදුරන් විපරීත වී ඇත. බුදුරදුන්- ගෘහපතිය, එසේය. ප්‍රිය වූ දෙයින්ම සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, හටගන්නේය. ගෘහපති අසතුටෙන් නැගිට යයි.. බුදුරදුන්ගේ ප්‍රකාශයට අකැමැත්තෙන් අමනාපයෙන් ගෘහපතියා දූකෙළින පිරිසක් සිටින තැනට පැමිණෙයි. ධූර්තයන්ට බුදුරදුන්ගේ වචනය කියා තමන් එයට එකග නොවන බවත් ඔබ එකග වන්නේදැයි විමසයි. ධූර්තයෝද බුදුරදුන් කී කතාව වැරදියි. ඔබතුමා නිවැරැදියි කීහ. ධූර්තයන්ගේ වචනයෙන් සතුටු ගෘහපති තමන්ගේ මතය හරි බවත් බුදුරදුන් වැරදි බවත් කිය කියා යයි. රජමැදුර දක්වා මේ කතාව පැතිරුණි කොසොල් රජු- මල්ලිකාවෙනි, ප්‍රිය වූවන් නිසාම සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස හටගන්නා බව බුදුරදුන් කියා තිබේ. ඔබ කුමක්ද සිතන්නෙ, මල්ලිකා දේවිය- බුදුරදුන් කීවා නම් එය නිවැරැදිය. එයම පිළිගත යුතුය. කොසොල් රජු- (කිපී) චර, පරෙ මල්ලිකෙ විනස්ස. යව, අනුන්ට ගැති මල්ලිකාව වැනසෙව යැයි කියා තරහින් කියා යයි. මල්ලිකා දේවිය- (රජුගෙන් වෙනතකට ගොස් පුරෝහිත බුදුරදුන් වෙත යවයි) නාලිජංග බමුණ, ඔබ බුදුරදුන් වෙත ගොස් ප්‍රියයන් නිසා දුක සෝකය හටගන්නා බව කීවාදැයි විමසා එන්න නාලිජංග බමුණා- බුදුරදුන් වෙත ගොස් විමසයි. බුදුරදුන් එසේ කී බව බමුණාට කියා ඊට උදාහරණ ද පෙන්වයි. බුදුරදුන්- නාලිංජංග නම් පුරෝහිත බුමණාට කී උදාහරණ 1. සැවැත්නුවර එක් ස්ත්‍රියකගේ මව මිය යයි. පියා ද සොයුරාද සොයුරියද පුතාද දුවද සැමියා ද විටින් විට මිය යයි. මේ සෑම විටකම ඇය උමතුව වික්ෂිප්තව මග දිගේ ඔවුන් ගැන කිය කියා ඔවුන් සොයා යයි. 2. සැවැත්නුවර එක් පුරුෂයෙකුගේ මව මිය යයි. පියා ද සොයුරාද සොයුරියද පුතාද දුවද බිරිද ද විටින් විට මිය යයි. මේ සෑම විටකම ඔහු ද උමතුව වික්ෂිප්තව මග දිගේ ඔවුන් ගැන කිය කියා ඔවුන් සොයා යයි. 3. එක් ස්ත්‍රියක් සැමියාගෙන් වෙන් කොට වෙනත් අයෙකුට විවාහ කිරීමට ඤාතීන් උත්සාහ කරයි. ඇය ඒ බව සැමියාට කියා මෙලොවදී එකට සිටීමට නොදේ නම් පරලොව දී අපි එක් වෙමුයි කියා දෙදෙනාම කඩුවෙන් ගෙල කපාගෙන මිය යති බමුණා මේ කරුණු අසා දේවියට දන්වයි. දේවිය මේ අයුරින්ම උදාහරණ කිහිපයක් රජුගෙන් විමසයි. මල්ලිකා බිසව- රජතුමනි, 1. වජිරී කුමරිය ඔබට ප්‍රියද? ඇය මරණයට සම වෙනසකට පත්වීමෙන් ඔබට දුකක් හටගනීද? 2. වාසවඛත්තියා බිසව ඔබට ප්‍රියද? ඇය මරණයට සම වෙනසකට පත්වීමෙන් ඔබට දුකක් හටගනීද? 3. විඩූඩභ සේනාපති ඔබට ප්‍රියද? ඔහු මරණයට සම වෙනසකට පත්වීමෙන් ඔබට දුකක් හටගනීද? 4. මාව ඔබට ප්‍රියද? මම මරණයට සම වෙනසකට පත්වීමෙන් ඔබට දුකක් හටගනීද? 5. කාසි කෝසල ජනපදවාසීන් ඔබට ප්‍රියද? ඔවුන් මරණයට සම වෙනසකට පත්වීමෙන් ඔබට දුකක් හටගනීද? කොසොල් රජු- ඇය/ ඔහු/ ඔබ/ ඔවුන්/ මරණයට සම වෙනසකට පත්වීමෙන් මගේ දිවිය පවා නැති විය හැකිය. සෝකය පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හටගනී. මල්ලිකා බිසව- රජතුමනි, මේ කරුණ නිසාම. බුදුරදුන් ප්‍රියයන් නිසා සෝකය පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හටගන්නා බව කියා ඇත. කොසොල් රජු- එසේය මල්ලිකාවෙනි. ආශ්චර්යකි. බුදුරදුන් ප්‍රඥාවෙන් විනිවිද ගොස් මෙසේ දකිනා බව මට සිතේ රජු හුනස්නෙන් නැගිට ජේතවනාරාමයට දෙසට හැරී දොහොත් මුදුනේ තබා තෙවරක් නමස්කාරය පාඨය කියා බුදුරදුන්ට වන්දනා කරයි

Saturday, March 31, 2018

කපුටා බකමූණා තරහ උනේ ඇයි

ඔන්න එක දවසක් කුරුල්ලෝ ඔක්කොම එකතු වෙලා එයාලට නායකයෙක් පත් කරගන්න කතා කරගත්තා. රෑට පේන හින්දා කට්ටියම බකමූණා යෝජනා කළා. රජකම ලැබෙන හින්දා සතුටෙන් බකමූණො වට පිට බැලුවා. බකමූණගේ කැත මූණ දැක්ක කපුටෙක් මේ විදියට විහිළුවක් කළා. "රජකම ලැබෙන සතුටින් ඉන්න බකමූණගේ මූණ මේතරම් කැත නම්, කවුරු හරි වරදක් කරල කේන්ති ගියොත් බකමූණු රජ්ජුරුවන්ගේ මූණ කොයි තරම් කැත වෙයිද ?" මේක ඇහුනු බකමුනට හොඳටම තරහ ගියා. කපුට ඈතට පියාඹලා ගියා. බකමූණා උගේ පසුපස එලවාගෙන ගියා. එදා ඉඳන් කපුට යි බකමූණයි තරහ වුණා. ස්වර්ණ හංසයකු වූ බෝසතාණන් වහන්සේ කුරුල්ලන් ගේ නායකයා බවට පත් වුණා.

බ පුර පසළොස්වක පෝය දවස

today is bak full moon poyaday. Our Lord Buddha at second time had been viSited sri lanka on this oxpicious day. He came to jaffna, Nagadeepa island to consolve a fight with two brothers in 6th centcery BC. Buddha gave a sermon to all who gathered for the fight tobe peaceful withought harming public. Then the Two rulers understood the Buddha'swords and stoped the fight. Since then nagadeepa was a buddhist sacred place.

උපසාළ්හක බමුණාගේ කතාව (budu sarana newspaper)

මහාසාර කුලයෙහි උපන් උපසාළ්හක බමුණා කුලයෙන් ධනයෙන් හා බලයෙන් ඉහළ තත්ත්වයක ජීවත්වුණු කෙනෙකි. ඔහුගේ ජීවන වෘත්තිය වූයේ සොහොන් පිරිසුදු කිරීම ය...